ශ්‍රී ලාංකේය සංගීතයට වෙනසක් එක් කරමින් පසුගිය ඉරිදා ශ්රාවකයින්ට අලුත්ම නිර්මාණයක් රස විඳීමට අවස්ථාවක් ලැබුණා. කාලයක් ශ්රාවකයින් හොයපු ඒ වෙනස ජීවිතයේ යථාර්ථය සමඟ සුපුන් පෙරේරාගේ සුමධුර හඬත් ළහිරු සන්දීප්ගේ සිත් ළගන්නා සුළු මියුරු සංගීත රාවයත් තම රැප් සංගීත ශෛලියේ උපරිම දක්ෂතාවත් එක් කරමින් " චාරිකාව " නමින් එළි දක්වන්නට සමිත් ගෝමස් සමත් වුණා.
Download Charikawa (චාරිකාව) - Samith Gomes Ft Supun Perera
Download Charikawa (චාරිකාව) - Samith Gomes Ft Supun Perera
" ඇවිළුණා ගිණි ඉසිඹුලනදා
නිවන්න හීතල පොදක් නැතිදා "
උපන් දා සිට යන්ත්‍රයක් සේ නොනවත්වා වැඩ කරන අපි , විවේක සුවයෙන් සිටින ජීවතයේ අවසන් කාල පරිච්ඡේදයේ දී අතීතය සිහිගන්වන විට එන්නේ දරා ගත නොහැකි වේදනාවක්. සරණක් නොමැති හැඟීමක්.
" මග නොමග පා උමතුවෙන්
තබන පියවර සීරුවෙන් "
අපි කොතරම් පරිස්සමෙන් ජීවත් වුණත් හරි වැරැද්ද මොකද්ද කියලා අපිටම තේරුම් ගන්න බැහැ.
" අමාවක දිනෙක බොහෝ රෑවී
පියාපත් වැහැරී
අතර මඟ ගමනේ..... "
ඔව් සුපුන් කියන විදිහට වයෝවෘද්ධ මේ කතා නායකයාට තාමත් සසරෙන් එතෙර වීමට හැකියාවක් ලැබිලා නැහැ. ඔහු දුර්වලයි. තවමත් ඔහු නිමක් නොමැති ජීවන චාරිකාවේ අතරමඟ නැවතිලා ඉන්නවා.
ගීතයේ ආරම්භය සනිටුහන් කරන සුපුන් පෙරේරාගේ ඒ ළයාන්විත හඬින් ඒ වචන තවත් හිත් තුළට කාවද්දනවා.
" වහන් ආ දෙනෙත් ඇර බලන යාත්‍රිකයා
මා කෙළෙස් තුළ කොටු වී ඉන්න යාත්‍රිකයා
හා ! සතපා මිහිමත දිවි කත සමඟින් පිරිසත්
ලබා තිරිසන් අතර බවක් මිනිසත් "
ආත්ම ගණනක කුසල් කර්මයන් තුළින් තිරිසන් ආත්මයක් නොලැබ මිනිස් ආත්මයක් ලබන්නට භාග්‍යවන්ත වී වැසුණු ඇස් ඇරී මව් කුසින් එළියට විත් ලෝකය දකින්නට පටන්ගත් දා සිට අපි දිනෙන් දින කෙළෙස්වලට හිරවී ඒකාකාරීව ක්‍රියා කරනවා. ලද මිනිස් ආත්මයේ මූලාරම්භය කෙසේද යනවග හඳුන්වන ඔහු ;
" පැදන් චාරිකාව කෙළවරක් හොයන්
කළුවරක් මැදින් අඳුරින්
කවුරු බේරාගන්න ඒවිද මාව "
කෙළවරක් හොයන් කෙලෙස් නැමැති අඳුරු ගුහාව මැදින් ගලාගෙන යන මේ ජීවිත ගංගාවෙන් තමන්ට කෙසේ හෝ මිදිය යුතු බව මනා ලෙස මෙම වදන තුළින් දක්වා තිබෙනවා.
" උරුම උඩ බලන් යැද්දටත් සසරමයි
තිසරණ සරණ ගියත් තාමත් මං අසරණයි
අසරණයි ! ගැට ගහන් පණ ඇහුවා බණත්
පිනෙව්වා කණත් බලන් පෑදෙනකන්ම නැණත් "
ළහිරු සන්දීප්ගේ මනෝනන්දනීය සංගීතය සමඟින් අකුණුසරක් මෙන් සමිත් ශ්‍රාවක සිත් ආක්‍රමණය කරන්න පටන් අරන්.
උදෑසන පිරිත් හඬින් අවදිවෙන අපි රාත්‍රී නින්දට යන්නෙත් තුන් සූත්‍රය ශ්‍රවණය කරමිනුයි. කොතරම් ගස් ගල් වැන්දත්, දෙවියන් වෙනුවෙන් පුද සත්කාර කළත් , ආමිස පූජාවන් කළත් , සිල් සමාදන් වූවත් , බණ ඇහුවත් අපි සත්‍ය අවබෝධ කරගත්තාද? ඔව් අපි ඇත්තටම අසරණයි. අවසන් හුස්ම පොද වනතුරුත් අනේ අපි සත්‍ය අවබෝධ කර නොගන්නා හැටි. බෞද්ධයෙකු වූ පමණින් අපට ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත නොහැකි.
" බව දුක් නිසාම රැය පුරාම
ඉඳන් මා ලොවක කාම වපුරන් කමතෙන් අකුසල් තාම
දකින හීන පසෙකින් තබාගෙන ඇදන් දුවන
ගැලක බැඳි ගවෙකු හට පෑදෙයිද නුවණ
දැනුමෙන් දිළිඳු මනසින් බිළිඳු දකින මිරිඟු
අතැර යන විට යයි කරන් ආත්මය කිළිටු "
මේ අඳුරු ජීවිතය තුළ ආශාවන් පසුපස හඹාගොස් තවත් අපි රැස් කරන්නේ අකුසල් පමණයි. හීන , බලාපොරොත්තු හොයන් හති හලමින් මේ දිවි ගමනේ ඔහේ දුවන අපිට සත්‍ය අවබෝධ කරගත යුතුයි, ජීවිතේ යථාර්ථය තේරුම් ගත යුතුයි කියලා අරමුණක් තිබ්බ ද? මරණය වනතුරුත් මේ සැබෑව වටහා නොගත් නිසා දැනුමින් අඩු දරුවෙකු මෙන් මේ දකින සියල්ල අතහැර අකුසල් එක්ක මැරිලා යන්නයි වෙන්නේ.
ජීවිතේ රළු බව කටුක බව, රැප් සංගීතය හා මුසු වූ සමිත් ගෝමස්ගේ ගැඹුරු රළු හඬින් තවත් තීව්ර කරනවා. කිණිසි පහරක් මෙන් හදවත් පත්ලටම ඒ හඬත් සමඟින් වචන කිඳා බහිනවා.
" නිමාවක් නැතිව ඇවිදන් හැමදාමත්
හොයන් ගියත් නොදැන හසරක් රියන් හතරක් තමන් උරුම
වැසෙන තුරුම ඇස් හවුහරණක් හොයන්
ගව් ගණනක් ගියත් නොපෙනුනත් ඇත මං තුළම "
සත්‍ය සොයන් මුළු ලෝකයම පීරුවත් අවසානය, මොහොතකට අමතකවූ අපි සිතීමට අකමැති මරණයයි. කොතරම් විසඳුම් උපාය මාර්ග අපි හෙව්වත් සත්‍ය ඇත්තේ තමන් තුළම පමණයි.
" ඇරඹුමට කළින් අත හැරීම
තවත් ඇයත් ළං වී ඉඳී මටත් නොදැනීම "
සියල්ල අතහැරීමට කොපමණ උත්සාහ කළත් දවසින් දවස ජීවිතයට එකතුවෙන බැඳීම නිසා අපි පසුබට වෙනවා. අපි අපිටත් නොදැනීම ඒ බැඳීම් වලට ළං වෙනවා.
" වන්දනාවක් අතරමඟ කෙලෙස් මං අසලමයි
පිරුණත් සැපයෙන් දෑත තාමත් මං අසරණයි අසරණයි"
මනුෂ්‍ය ආත්මයක් ලබලත් සැප සම්පත් තිබිලත් අපිට මේ දිවියේ කෙළවරක් දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැති තරම්. ඔව් අපි අසරණයි. මේ ජීවන වන්දනාවේ අතරමං වූ අපි ගොඩක් අසරණයි. සමිත් ගෝමස් තම ආවේග ස්වරයෙන් හිතේ හැංගුණු ඒ වේදනාව මුසු කරමින් ශ්‍රාවකයින්ගේ හිත් ආමන්ත්‍රණය කරනවා.
" අතුපතර ගෙවා යමින් කතර
උනත් ලොව පතල කරයිද මමත් නතර "
මේ සසර ගමනේ අපි ආත්ම ගණනක් ඉපදෙන්න ඇති. බලය තිබූ පමණින් කිසිම බලවතෙකුට හැකි වුණාද මේ සසර ගමනේ කෙළවර දකින්න? කාට හරි පුළුවන්ද මට මේ සසර ගමන කෙළවර දකින්න උදව් කරන්න ? කතා නායකයා එහෙම හිතනවා. ඒත් ඔහුට එහෙම කෙනෙක් දකින්නට ලැබෙන්නේ නැහැ. අඩු තරමින් ඔහුට උත්සහයක් දරණ කෙනෙක්වත් මුණ ගැසෙන්නේ නැහැ.
" නෑ ! මං අසල නෑ කෙනෙක්
එතෙර වුණු එමෙන්ම ගෙවෙන දිවියෙන්
ගැලවීමක් නුදුරින් නෑ !! "
හිතේ කැකෑරෙන ඒ වේදනාව , ප්‍රශ්න එක්ක කතා නායකයා උමතුවෙන් අතරමං වූ මේ සසර චාරිකාවේ අවසානය හොයනවා. ඒත් ඔහු ලද මිනිසත් බවය තුළ කරගත් කෙළෙස් හේතුවෙන් ඔහුට පිං මදි චාරිකාව නිමා කරන්න. ඔහු දුරින් හිඳන් පෙරුම් පුරනවා කෙදිනක හෝ සසරෙන් එතෙර වෙන්න.
" ප්‍රේහේළිකාවක් අතේ තියන් හැමදාමත්
මන් මාවත් මත දුවමින් ගියත් මං ගාවත්
මදි පිං ඉන්නේ මම දුරින් බොහෝමයක්
චාරිකාවේ මැද හිඳන් ඇඟිලි ගනිමින් වැළපෙයි ඉතිං "
කලබලකාරී දිවි ගමනේ ජීවිතේ සදාකාලික විරාමය , සදාතනික සුවය සොයන්නෙකුගේ හැඟුම් වචන වලට පෙරළිමින් සාම්ප්‍රදායෙන් මිදී ළහිරු සන්දීප්ගේ කන්කළු සංගීත රාවයත් සුපුන් පෙරේරාගේ,කර්ණයන් වශීකරවන හඬත් සමිත් ගෝමස්ගේ , ශ්‍රාවකයින්ගේ හිත් කළම්බන වචන හා ගැඹුරු හඬින් මුසු වූ මේ " චාරිකාව " ෆැන්ටසියෙන් මිදී ජීවිතයේ අරුත පසක් කරමින් හෙට දිනයේ සංගීතයටද වටිනාකමක් එක් කරනවා නො අනුමානයි.
✍🏻 දිළිණි උදාරි
ConversionConversion EmoticonEmoticon